චීනයේ ග්වැන්ෂෝ වෙත යන්න තිබූ ශ්‍රී ලන්කන් යානය දෙවරක් කාර්මික දෝෂයකට ලක්වෙයි
චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත 11/25 දින පිටත් වීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් ගමන, එම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
මෙම ගුවන් ගමන 11/25 දින පස්වරු 01.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 880 දරන ගුවන් යානය චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ බලා ගුවන් මගීන් 170 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතව තිබුණි.
එහෙත් මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් පසුව මෙම ගුවන් යානය අලුත්වැඩියා කර , නැවත යළිත් රාත්‍රී 09.20 ට පමණ ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය වෙත පැමිණි ද යළිත් එම කාර්මික දෝශය හට ගැනීමෙන් පසුව මෙම ගුවන් ගමන අත්හැර දැමීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.
මෙම ගුවන් යානයෙන් චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත ඉතාමත් හදිසියේම පිටත්ව යාමට අවශ්‍යතා මතුව තිබූ ගුවන් මගීන් සිංගප්පූරුව , මැලේසියාව ඔස්සේ වෙනත් ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි .
මීට අමතරව දුරබැහැර සිට මෙම ගුවන් යානය සදහා පැමිණ තිබූ ගුවන් මගීන් සදහා ගුවන් තොටුපොළ අසළ හෝටල් පහසුකම් සළසා තිබුණි. ඊට අමතරව තවත් ගුවන් මගීන් පිරිසක් ස්වකැමැත්තෙන් සිය නිවෙස් කරා යාමට එකගතාවය පළ කර පිටත්ව ගොස් තිබුණි .
මෙතෙක් මෙම ගමනාන්තය වෙත ගමන් කිරීමට නොහැකි වූ මගීන් සදහා 11/27 දින පස්වරු 01.55 ට චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානය සදහා පැමිණීමට මෙම මගීන් දැනුවත් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

